නන්දිමිත්ර යෝධයා විසින් කරවා සඟ සතු කොට ඇති පින්බිම
අනුරාධපුර යුගයේ ඒකද්වාරික පබ්බත නමින් හඳුන්වනුලැබූ ඓතිහාසික නන්දිමිත‍්‍ර ආරණ්ය සේනාසනය පිහිටා ඇති, වත්මන් දියතිත්තවැව ග‍්‍රාමය (අතීතයේ අධිකාරම් කුලම නමින් ව්‍යවාහාරවී ඇත. කි‍්‍රපූ 2-3 සියවස්වලදී බොහෝ රාජ්‍ය නිළධාරීන් මෙන්ම ප‍්‍රභූ ප‍්‍රධානීන්ගෙන් සපිරි, අතිශය සශ‍්‍රීක ගම්පියසක්ව තිබූ බවට ඓතිහාසික සාධක එමටය. මෙම සුන්දර ගම්මානයට ඇතුල්වෙන ස්ථානයේ අදටත් දක්නට ඇති ගල්කනු, බොහෝවිට නගර ද්වාරයක හෝ පිවිසුම් දොරටුවක නටඹුන් යැයි සිතිය හැක. ඒ අනුව මෙම ස්ථානයේ හා ප‍්‍රදේශයේ ඇති ඓතිහාසික වැදගත්කම හා සුවිශේෂත්වය පිළිබඳ යම් වැටහීමක් ඇතිකරගත හැකිවේ.
ඉතිහාසය
බොහෝවිට මෙහි විහාර මන්දිර සඳහා ගල්ලෙන් භාවිතාවී ඇති අතර ඒ තුල ගඩොලින් නිමකළ පිළිම තිබෙන්නට ඇතැයි සැළකිය හැකි සාධක ඇති නමුත් අද වන විට ශෛලමය මල් ආසන පමණක් ඉතිරිව පිළිම සියල්ල විනාශවී ඇත. ඊට අමතරව හුණුගලින් නිමවූ පිළිමවල කොටස්ද දැකිය හැක. සාම්ප‍්‍රදායික ලෙන් කර්මාන්තයේදී අඳිනලද සිතුවම් සඳහා භාවිතාවූ බදාම කොටස්වල ප්ලාස්ටර පමණක් ලෙන් සිවිලිම මත ශේෂව පවතී. ස්වාභාවික පිහිටීම් මනාව උපයෝගී කරගනිමින් සකසන ලද ගල් කෙම් හෙවත් පොකුණු, තැනින් තැන කුටි සමීපයෙහි පිහිටා ඇත. සමහර පොකුණු ප‍්‍රමානයෙන් කුඩා වුවද ගැඹුරින් අඩි 20ක් පමණෙවි. ජලය අනවශ්‍ය ලෙස රත්වීම වැලැක්වීම සඳහා සමහර පොකුණු සඳහා ගල් ආවරණ පියස්සක් ලෙස භාවිතා කර ඇති අයුරු දක්නට ලැබේ.
එකල භාවිතයට ගැනුණු සොහනක නටඹුන්ද මෙම ස්ථානයට නුදුරින් මෑතකදී හමුවී ඇත. සෙනසුන අවට ඇති ලෙන් පර්යන්ත මෙන්ම විසිර පවතින නටඹුන් ආදිය සැලකිල්ලට ගැනීමේදී, මෙම ස්ථානය, භික්‍ෂූන් වහන්සේලා සියක් නමකට වුවද, ආවාස පහසුකම් සැපයිය හැකි සුවිසල් වන සෙනසුනක්ව පැවති බව නිගමනය කළ හැකිවේ. සෙන්පතිවරුන් මෙන්ම ස්වකීය භාර්යාවන් හා දරු පිරිස්වලට අමතරව පරුමකවරු, බ‍්‍රාහ්මණවරු, උපාසකවරු, මෙන්ම රූප අධ්‍යක්‍ෂක නමින් ( මෙම නාමය බොහෝවිට සිත්තරුන්ගේ ප‍්‍රධානියා සඳහා භාවිතාවී ඇති බව විද්වත් මතයයි) විවිධ නිලයන් හෙබවූ විවිධ පුද්ගලයන් මෙන්ම භික්‍ෂූන් වහන්සේලාට අමතරව වෙළඳ ප‍්‍රධානීන්ද මෙහි ඇති ලෙන්කුටි නිර්මාණය කර සඟ සතු කොට පූජා කොට ඇති බව සෙල්ලිපි පරීක්‍ෂා කිරීමේදී පෙනී යන බව පූරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් තහවුරු කරයි. මෙහි ඇති පර්වත ලිපි, ලෙන්ලිපි මෙන්ම පොකුණුලිපි වලට අමතරව ඉතා දර්ශනීය ලෙස සකස් කරන්නට යෙදුන කටාරම් ඉතා සිත් ගන්නා සුළුය. තවද, අභිනවයෙන් ආරණ්‍ය පරිශ‍්‍රය තුල ඉදිකිරීමට යෙදුන කුඩා වැව ඉදිකල ස්ථානයෙන්ම පැරණි වැව් බැම්මක නටඹුන්ද මෑතකදී හමුවී ඇත.
අතීතයේදී මෙම ප‍්‍රදේශය අධික ජනගහනයකින් යුතු කර්මාන්ත පුරයක්ව පැවති බවට, අදටත් තැන තැන ශේෂව ඇති යබොර කඳු සාක්‍ෂි දරයි. අතීතයේදී ත‍්‍රිකුණාමල-අනුරාධපුර ප‍්‍රධාන මාගර්ය, කන්තලේට උතුරින් ආනාඋලූන්දෑව, මොරවැව, සේරුනෑව හා මෙම සේනාසනය ආසන්නයේ උපුල්විල (වත්මන් පරංගියාවාඩිය) හරහා සෘජු-තිරස් රේඛාවක් ඔස්සේ වැටීතිබූ බවට උපකල්පනය කල හැකි සාධක බොහෝය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති, "පුරාණ අනුරාධපුරය" නම්වූ ග‍්‍රන්ථයේ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් විසින් ඇති අනුරාධපුර යුගයේ, ප‍්‍රකටව පැවති විහාරාරාම සළකුනුකොට ඇති ලංකා සිතියම මේ සඳහා නිදසුන්ලෙස දැක්විය හැක. අද මහ වනයෙන් වැසී පවතින වර්ග කි.මී. 20ක පමණ ප‍්‍රදේශය පුරාවට ඇත්තාවූ විහාර නටඹුන්වල සුවිසල් බවත් පැරණි ගම්මානවල පැවති සශ‍්‍රීක බවත් සමගින් පැරණි මාර්ගවල නටඹුන් මේ සඳහා සාක්‍ෂි දරයි. මෙම මාර්ගය දෙපස දිගටම, පැරණි ගම්මාන තිබී ඇති අතර පැවති ත‍්‍රස්ත උවදුරු නිසා බොහෝ ගම්මාන විනාශවිය. තවත් සමහර ගම්මාන අතහැර යෑමටද සිදුවිය.
මෙම ප‍්‍රදේශය අවට ඇති ඉපැරණි වාරි කර්මාන්තය අතිශය දියුණු මට්ටමක පැවතුනි. උදාහරණයක් වශයෙන් වර්ග කි.මී. 10 ක භූමි ප‍්‍රමානයක වැව් 25ක් පමන ඇති අතර වර්ග කි.මී. 20ක ප‍්‍රදේශය තුල ඇති වැව් 150ක පමණ ප‍්‍රමානය, මේ අවට පැවති අතීත සෞභාග්‍ය විදහා පාන්නකි.
අනුරාධපුර යුගයේ ලක්දිව පැවති ශාසනික ප‍්‍රබෝධය හේතුවෙන් බොහෝ විදේශික භික්‍ෂූන් වෙළඳ නැව්
මගින් ලක්දිවට පැමිණීම සිදුවූ අතර එසේ පැමිණෙන උන්වහන්සේලාහට පාගමනින්ම අනුරාධපුරයට වැඩමකිරීමට සිදුවූ හෙයින් අතරමග විවේක ගැනීමටත් පහසුවෙන් පිණ්ඩපාතාදිය සපයාගැනීමටත් මග දිගටම අතොරක් නැතිව පැවති විහාරාරාම නිසැකවම ප‍්‍රයෝජනවත්වන්නට ඇත. තවද, ප‍්‍රධාන නැව් තොටක්ව පැවති ගෝකණ්නතිත්ථ හෙවත් ත‍්‍රිකුණාමලය ප‍්‍රසිද්ධ වානිජ නගරයක්ව පැවතුනි. එහෙයින් ඒ දක්වා දිවෙන ගමන් මාර්ගය කිසිසේත්ම ජනශූන්‍ය පාළු පාරක් හෝ දීර්ඝ පාරක් හෝ නොවිය යුතුය. එහෙත් අද භාවිතාවන හොරොව්පොතාන හරහා ත‍්‍රීකුණාමලයට වැටී ඇති මාර්ගය වඩාත් දීර්ඝවූ වක‍්‍රව දිවෙන්නක් වන අතරම පැරණි නගරවල හෝ විහාරාරාමවල නටඹුන්වලින් තොරවූ එවැනි මාවතක් භාවිතාකිරීමට වඩා, කෙටි-සෘජු, වඩාත් සශ‍්‍රීක ගම්මාන මෙන්ම විහාරාරාමයන්ගෙන්ද සුසැඳි ජනාකීර්ණ මාර්ගයක් භාවිතාකිරීම වානිජමය වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන්ද, වඩාත් ප‍්‍රායෝගික හා අර්ථවත්බව අමුතුවෙන් කිවයුතු නොවේ.
සෙල් ලිපි
ශිනපති පරුමක මිතශ මහලෙණෙ දෙවනපිය රඣ අබය හ ශඝශ
දේවානම්පිය අභය මහරජුගේ සේනාපතිවූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ මහලෙණ සඟනට පුදනලදී. දේවානම්පිය අභය රජු නමින් හැඳින්වෙන්නේ දුටුගැමුණු මහරජතුමයි. නන්දිමිත‍්‍ර මහ සෙනෙවි තුමන්ගේ නිල මුද්‍රාවද සමගින් ලෙන පූජාකිරීම සම්බන්ධ ලිපිය කොටා ඇත.
පරුමක නදිකපුත පරුමක මිතශ මහලෙණෙ හන පවතෙහි අගත අනගත චතුදිශ ශඝශ දිනෙ
ප‍්‍රමුඛ නන්දිකගේ පුත‍්‍රවූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ මහලෙණ පාශාන පර්වතයෙහි පැමිනි නොපැමිණි සිව්දිගින් වඩින සංඝයා උදෙසා පූජකරණ ලදී. ඒ අනුව නන්දිමිත‍්‍රගේ පියාගේ නාමය, නන්දික බව හෙලිවේ.
පරුමක ජත ජිත පරුමක මිත ජය උපශික ඉහනය මහ සුදශනේ අගතනගත චතුදිශශඝශ දිනෙ
ප‍්‍රමුඛ ජතගේ දියණියවූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ භාර්යාවවූ ඉහනා උපාසිකාවගේ සුදර්ශන නම්වූ මහලෙණ පැමිණි නොපැමිණි සිව්දිගින් වඩින සංඝයා උදෙසා පූජකරණ ලදී. මෙමගින් නන්දිමිත‍්‍රගේ භාර්යාවක්වන ඉහනා උපාසිකාව ගැන සඳහන්වේ.
පරුමක ජත ජිත පරුමක මිත ජය උපශික ඉහනය මහ සුදශනේ අගතනගත චතුදිශශඝශ දිනෙ
ප‍්‍රමුඛ ජතගේ දියණියවූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ භාර්යාවවූ ඉහනා උපාසිකාවගේ සුදර්ශන නම්වූ මහලෙණ පැමිණි නොපැමිණි සිව්දිගින් වඩින සංඝයා උදෙසා පූජකරණ ලදී. මෙමගින් නන්දිමිත‍්‍රගේ භාර්යාවක්වන ඉහනා උපාසිකාව ගැන සඳහන්වේ.
පරුමක ශත නශත කධිත පරුමක මිත ජය පරුමකලූ පුශය ලෙණේ අගත අනගත චතුදිශ ශඝශ දිනෙ
ප‍්‍රමුඛ ශත නශතගේ දියණියවූ ප‍්‍රමුඛ මිත‍්‍රගේ භාර්යාවවූ ප‍්‍රමුඛ පුස්සාගේ ලෙන පැමිනි නොපැමිණි සිව්දිගින් වඩින සංඝයා උදෙසා පූජාකරණ ලදී. මෙමගින් නන්දිමිත‍්‍ර මහසෙනෙවිතුමන්ගේ ප‍්‍රධාන භාර්යාව වන ප‍්‍රභූ පුස්සා ගැන සඳහන්වේ. ඒ අනුව නන්දිමිත‍්‍රගේ මාමා වනුයේ මෙම ප‍්‍රදේශයේ පාළකයාව සිටි ශතනශත නම්වූ ප‍්‍රභූවරයායි.
පරුමක ශොණ කධිත පරුමක නදික ඣය උපශික උතරය ලෙණෙ අගත අනගත චතුදිශ ශඝශ
ප‍්‍රමුඛ සෝනගේ දියණියවූ ප‍්‍රමුඛ නන්දිකගේ භාර්යාවූ උත්තරා උපාසිකාවගේ ලෙණ පැමිනි නොපැමිණි සිව්දිගින් වඩින සංඝයා උදෙසා පූජාකරණ ලදී. මෙමගින් නන්දිමිත‍්‍රගේ මෑනියන් උත්තරා බවත් සීයා සෝන නම්වූ ප‍්‍රභූ ප‍්‍රධානියා බවත් හෙලිවේ.
භාවනා යෝගීව වැඩ වාසය කිරීම සදහා මහා වන මැද පිහිටි මෙම ආරණ්න්‍ය සේනාසනය ඉතා සුදුසු පරිසරයකි. මේ සඳහා ගිහි පැවිදි ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ මහා වන මැද පිහිටි ගල්ලෙන්හි නිස්කලංකව සිය භාවනා කටයුතු සිදු කළ හැකිය.
එමෙන්ම මෙම ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීම්, නඩත්තුව සඳහා ඔබට හැකි ආකාරයෙන් දායක විය හැකිය.
විමසීම් :
077-5646446 / 071-8335646
horowpothana@gmail.com