වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

නෙළුව කොස්මුල්ල සිංහලෙන ආරණ්‍ය සේනාසනය


සිංහරාජ වනයේ කඳු මුදුනක පිහිටි, නෙළුව කොස්මුල්ල, සිංහලෙන තපෝවනය අද සැදැහැවතුන්ට නිවන්මග කියාදෙන ආදර්ශවත් සේනාසනයකි. ඒ පින්බිමට ගිය ගමනක් පිළිබඳ ව මේ ලිපියෙන් කියැවේ.
එච්. ඩබ්. සමරසිංහ
කටුවැල්වලින් වට ගලින් ගලට අඩි තබමින්, අතු ඉති එහා මෙහා කරමින් සිංහරාජ වනන්තරේ මහ කඳු මුදුනකට භික්ෂූන් වහන්සේ දෙනමක් වැඩියහ.
ඒ පූජ්‍ය දැරණියගල ජිනරතන හිමි සහ පූජ්‍ය රුක්ගල්ලේ සුදස්සි හිමි ය.
කිලෝමීටර් තුනක පමණ දුරක් පැය දෙකකට කිට්ටු කාලයක් ඒ කඳු මුදුනට නැඟීමට ගත විය.
වන සතුන්ගේ කෑකොස්සම් හඬින් උන් වහන්සේ වනයට පිළිගැනිණි.
මොහොතින් ඒ හඬ නිසල වූ පසු අවට නැරඹූ හිමි දෙනමට ආරණ්‍ය සේනාසනයකට සුදුසු පරිසරයක් එහි පෙනිණි.
ගල් ලෙන් දෙකක් තිබිණි. ඒවා පිරිසිදු කොට එහි නතර වූ උන් වහන්සේ පසුදා කිලෝමීටර් හතක් ගෙවා නෙළුව ගමට වැඩියහ.
පිණ්ඩපාතේ වඩින හිමිවරු ඒ ගමට හුරු නො වී ය. එහෙත් ආහාර ස්වල්පයක් ලැබිණි. අර කුටි දෙකේ සිට දිනපතා උන් වහන්සේ දෙනම ගමට වැඩියහ. දෙසතියක් ම ඒ කුªටි දෙකේ ගත කළ මේ හිමිවරුන්ට එහි තවත් ලෙන් දක්නට ලැබිණි.
සිද්ධරා ලෙන නමින් පෙර හැඳින්වුණු පසුව සිංහලෙන නම් වූ ලෙනෙහි උන් වහන්සේ වස් විසූ හ; ඉන් පසුව ලෙනකට සම්බන්ධ කොට බේරුකොළ සෙවිලිකොට වහලක් බා එළා කුටියක් තනාගත්හ.
වස් කාලයේ ඇතැම් දිනෙක උන් වහන්සේ දානයට වැළඳුවේ තම්බාගත් කර කොළ ය.
මේ හිමිවරුන් ගැන ඇසූ කොස්මුල්ල වාරුනන්දිය බටහිර බටුවන්ගල ගම්වල ජනතාව දිනපතා දානය ගෙන ආ හ.
පහළ දොළ අසල වැඩ හිඳගෙන දන් වැළඳූ උන් වහන්සේලාට දන්දීමට එන ගමන දුෂ්කර වූව ද ගැමියෝ ඒ කුටි අසලට ම ආ හ.
සමහරදාට ලැබුණේ බත් පමණි. වතුර සමග බත් වැළඳූ දවස් ද විය.
උන් වහන්සේ රෑ එළිය ලැබුයේ මඩොල් ගහේ ගෙඩිවල ඇටවලිනි. ඒ ඇටවල තෙල් තිබේ.
දිවියන් වැනි බිහිසුණු වන සත්තු උන් වහන්සේ අසලට ම පැමිණ බලා සිට ඉවත් ව ගියහ. පෙර මගට වඩින හිමිවරුන් දකින වන සත්තු පඳුරු යට සැඟවුණහ.
සර්පයෝ හිමිවරුන් ළඟ පැදුරු මත වැතිර සිටියහ. කිසිවකුගෙන් උන් වහන්සේට හානියක් සිදු නො වී ය. වනය මෛත්‍රීයෙන් පිරී තිබිණි. 1977 ජුනි 28 වැනි දා මේ කන්දේ සිංහලෙන තපෝවනය නමින් නව ආරණ්‍ය සේනාසනයක් බිහි විය.
පසුගිය දා අපි ඒ ආරණ්‍ය සේනාසනයට ගියෙමු. කඳු පාමුල සිට කිලෝමීටර් දෙකක් පමණ දුරක් ද විනාඩි හතළිස් පහක පමණ කාලයක් ද ගෙවා අපි ඒ කඳුමුදුනට නැඟුණෙමු.
දැරණියගල ජිනරතන හිමියන් එදා වැඩම කළ ඒ දුෂ්කර මග වෙනස් ව තිබිණි. තැන තැන ගල් පඩි බැඳ තිබිණි. එහෙත් වැඩි තැනක ගලින් ගලට පැන යෑමට ද සිදු විය. මහ වෙහෙසක් අපට දැනිණි.
එහෙත් කඳු මුදුනට නැගුණු පසු ඒ බෝධිය, චෛත්‍යය, විහාරය, කුටි, පොකුණු සමග අවට මහ කඳු පෙළ ඈතට ඈතට විහිදෙන වනාන්තරය ය. වන හිස කලඹා සිහිල උකාගෙන එන මඳ පවන අපේ සිරුරේ වූ වෙහෙස විඩාව දුරු කළේ ය; සිත ශාන්ත සුවයෙන් පුරවා ලූයේ ය.
ගල්ලෙන්වලට යාබද ව තැනූ කුටි පසළොසකි. විශ්‍රාම ශාලාවක්, විහාර මන්දිර දෙකක් සහ තවත් ගොඩනැගිලි පොකුණු සහිත සුන්දර ආරණ්‍ය සේනාසන භූමියක් බවට වසර කීපයකින් මේ වනගත කන්ද පත් කිරීමට මෙහි ප්‍රධාන අනුශාසක දැරණියගල ජිනරතන හිමියෝ සමත් වූ හ.
උන් වහන්සේගේ සරු පිළිවෙත් අගයන අතිවිශාල පිරිසක් දැන් මෙහි අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙති.
ඈත ගම්මානවලින් ද මෑත ගම්මානවලින්ද දිනපතා හැන්දෑවේ දායක පිරිස් එති. ඔවුහු හැන්දෑවේ සිට පසුවදා දහවල වන තුරු මෙහි රැඳී දන් පැන් පිළිගන්වා හිමිවරුන්ගෙන් ධර්මානුශාසනා ලැබ ආපසු ගම් බිම් කරා යති.
රාත්‍රි දහයේ සිට අලුයම හතර දක්වා පැය හය හැර අනෙක් පැය දහඅට ම ආගමික කටයුතු සඳහා මේ ආරණ්‍ය සේනාසනය වෙන් වී තිබේ.
පාලක දායක සභාවක් මගින් මෙහි කටයුතු සංවිධානය වේ. සෑම පෝයදාක ම ගිහියන් සඳහා සීල භාවනා වැඩසහන් ද ක්‍රියාත්මක වේ. පෝදා උදෑසන පින්නේ සීතලේ සිය ගණනක් උවසු උවැසියෝ මේ ශාන්ත සුවදායි කඳු මුදුනට නඟිති.
අපි නිහඬ ව, මුවින් එක් වදනකුදු නොනඟමින් ඒ පින් බිමේ ඇවිද්දෙමු.
ලෙන් සමග වූ මානෙල් පොකුණු, මල් වැල් හෙවුණු ගල්තලා, ඉඳ හිට හඬක් නඟා වන වදුලට වදින කුරුලු රංචු, අපට දක්නට ලැබිණි. හැම කුටියක ම භාවනාවේ යෙදෙන භික්ෂූන් වහන්සේ අපට දක්නට ලැබිණි.
පූජ්‍ය දැරණියගල ජිනරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මෙහි වැඩ සිටින ස්වාමීන් වහන්සේලා සිය පැවැත්මෙන් ම නිවන් මගට අප යොමු කරති. උන් වහන්සේලාගේ නිවී සැනසුණු පෙනුම බස උත්තම ශික්ෂණය පළ කරයි.
“සෝ කරෝහි දීප මත්තනෝ
ඛිප්පං වායාම පණ්ඩිතෝ භව
නිද්ධන්තමලෝ අනංගණෝ
න පුන ජාතිජරං උපේහිසි”
(ධම්මපදය මල වර්ගය)
“ඔබ දැන් ආත්මයට එළියක් දිය යුතු ය; හෙටත් පිහිටක් ඇති කරගත යුතුªª ය. වහා වෑයම් කරව. තමාට වුවමනා පිහිට සාදාගැනීමට තරම් සමත් වව. කෙලෙස් මල හැරගෙන නිකෙලෙස් ව නැවත ජාති ජරා දුකට නොපැමිණීමට උත්සාහ කරව.”
මේ සිංහලෙන තපෝවනය රටට දෙන පණිවිඩය යි. ද