වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

අරිසිමලේ වන සෙනසුන



අරිසිමලේ වන සෙනසුන  ගත සිත නිවනා නිසල පුදබිමකි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රිකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරළ තීරයට මුහුණලා මෙම සුන්දර වන සෙනසුන පිහිටා තිබේ.

අතීතයේ ගෝකන්න තොටුපොළ ලෙසින් හැඳින් වූ ත්‍රිකුණාමලය සැඟවුණු ලාංකික බොදු උරුමයන් රාශියකට උරුමකම් පවසන ප්‍රදේශයකි. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ පැමිණීමේ සිට දිගු ඉතිහාසයකට නැකම් පවසන මේ ප්‍රදේශය පඬුවස්‌දෙව්, භද්ද කච්චායනා, මහසෙන්, ඪ වන අග්බෝ, දුටුගැමුණු ආදී විවිධ රාජධානීන්ට අයත් විවිධ රජවරුන්ගේ අවධානය ලක්‌වූ සුවිශේෂ ප්‍රදේශයක්‌ විය. මේ හේතුකොට ගෙන ප්‍රදේශය පුරා ඉතා විශාල බෞද්ධ සිද්ධස්‌ථාන රාශියක්‌ පැවති අතර අද වනවිට එවැනි නටබුන් සහිතව හඳුනාගෙන ඇති ස්‌ථාන ගණන 74 කි. තහවුරු කර ගැනීමට ඇති ස්‌ථාන තවත් බොහෝය.

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් පුල්මුඩේ ග්‍රාම නිලධාරි වසමේ අරිසිමලේ වෙරළ තීරයට මුහුණලා පිහිටි පුරාණ අසිරිකන්ද රාජමහා විහාරය එලෙස නටබුන් වී ගිය තවත් එක්‌ සමුද්‍ර විහාරයකි. බුදුන් සරණ ගිය පළමු උපාසකයන් දෙදෙනා වන තපස්‌සුභල්ලුක වෙළෙඳ දෙබෑයන් තථාගතයාණන් වහන්සේගේ කේශ ධාතු රැගෙන යාත්‍රා කරමින් සිට ගොඩබැසි ස්‌ථානය මෙම අරිසිමලය තොටුපොළ බවට හඳුනාගෙන ඇත. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි, පුල්මුඩේ, අරිසමලේ, ආන්දන්කුලම ,යාන් ඔය, පලෙත්තආරු, කෝකිලායි වැනි ප්‍රදේශවල පිහිටි මෙම ස්‌ථානවල ඵෙතිහාසික වටිනකම දුටු අභාවප්‍රාප්ත සිරිල් මැතිව් මහතා විසින් 80 දශකයේ මුල් භාගයේදී මෙම ස්‌ථානවල අයිතිය තහවුරු කරමින් අවශ්‍ය ප්‍රතිපාදනයක්‌ ලබාදෙමින් සංඝාවාස රැසක්‌ ඉදිකර පූජා කර සෙනසුන් බවට පත් කළ අතර ඒ වන විට ප්‍රදේශයේ බෞද්ධ පවුල් විශාල ප්‍රමාණයක්‌ වාසය කරමින් සිටියහ. පසුව ඇති වූ ත්‍රස්‌තවාදී ක්‍රියා හේතු කොට ගෙන සියලු සිංහල පවුල් හා ස්‌වාමීන් වහන්සේලා ප්‍රදේශයෙන් ඉවත් වූ අතර විහාරස්‌ථාන කොටි කඳවුරක්‌ ලෙස ඛගඔගඔගෑ සංවිධානය තම යුද කටයුතු සඳහා යොදා ගන්නා ලදී. එහිදි ඇති වූ දරුණු ගැටුම් හේතුවෙන් බොහෝ ස්‌ථාන සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. යුද ගැටුම් නිමාවට පත්වීමත් සමග යළි ප්‍රදේශයට පැමිණි පනාමුරේ තිලකවංශ හිමියන් මෙම සිරිල් මැතිව් මහතා ගැසට්‌ කළ ලේඛන අධ්‍යයනය කරමින් නාවික හමුදාවේද සහය ඇතිව මෙම කැලයෙන් වැසී විනාශ වී ගිය සෙනසුන් මහත් පරිශ්‍රමයකින් සොයාගත් අතර ඒ වනවිට ඒවා 30 වසරක දරුණු යුද්ධයකිනුත්, නිදන් හොරුන්ගෙනුත්, වන සතුන් හා ස්‌වභාවිකව විනාශයන්ගෙනුත් පීඩාවට ලක්‌ව තිබිණි. සියල්ලටම වඩා යුද්ධයෙන් පසු ආරක්‌ෂක විදිවිධාන ලිහිල් වීමත් සමග මෙම සේනාසන සතු ඉඩම් හා පුරාවස්‌තු සඳහා අන්තවාදීන්ගේ ඇස යොමු වූ අතර මෙම බොදු උරුමයන්ගේ සාධක ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක්‌ දියත් විය.

අතීතයේ රහතන් වහන්සේලා වැඩසිටි මේ පින්බිම්වල සැබෑ උරුමකරුවන් විය යුත්තේද එම මාර්ගයේම ගමන් කරන නිවන් මග පමණක්‌ම අරමුණු කළ පිරිසක්‌ යෑයි තීරණය කළ උන්වහන්සේ දැඩි උත්සාහයක නිරතවෙමින් නාවික හමුදාව ඇතුළු ආරක්‌ෂක අංශවලද සහයෝගයෙන් එම ස්‌ථානවලට බවුන් වඩන ස්‌වාමීන් වහන්සේලා යොමු කරවමින් උන්වහන්සේලාට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් හා එම ස්‌ථානවල මූලික පහසුකම් සකස්‌ කරමින් ඉමහත් ශාසනික මෙහෙවරක යෙදී සිටින්නේ තම අධ්‍යාත්මික ජීවිතය පවා කැප කරමිනි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසාම මෙවර එම ස්‌ථාන සියල්ලේම ස්‌වාමීන් වහන්සේලා වස්‌ සමාදන්ව කඨින පිංකම් පැවැත් වූ අතර පුල්මුඩේ නගර මධ්‍යයේ (මහත් බාධක මැද) කඨින පෙරහැරක්‌ද පැවැත්වූහ. ඉන් නොනැවතුණු උන්වහන්සේ වසර 30 කට පසු නැඟෙනහිර පළාතේ පළමු උපසම්පදා පුණ්‍යකර්මයද පැවැත්වූහ.

මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කලින් කලට පැමිණෙන තම අධ්‍යාත්මික දියුණුව පමණක්‌ම අරමුණු කරමින් අප්‍රසිද්ධියේ බවුන් වඩන ස්‌වාමීන් වහන්සේලා 30 නමකට ආසන්න ප්‍රමාණයක්‌ නිවන් මග පමණක්‌ අරමුණු කරමින් මෙම සෙනසුන් සියල්ලෙම භාවනානුයෝගීව වාසය කරති.

නමුත් අවාසනාවකට මෙන් මෙම ප්‍රදේශයේ නැවත පදිංචියට පැමිණියේ සිංහල පවුල් අතලොස්‌සක්‌ වන අතර ඔවුන්ද ඉතා දිලිඳු තත්ත්වයකින් පසුවේ. දැනට මෙම සෙනසුන් අවට පදිංචිව සිටිනුයේ අන්‍යාගමික පිරිසක්‌ බැවින් සෙනසුනට අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් ලැබෙනුයේ ඉතා අවම මට්‌ටමකිනි. දිනකට එක්‌ වේලක පිණ්‌ඩපාතයෙන් පමණක්‌ යෑපෙන උන්වහන්සේලාට මේ වනවිට දානය ලබා දෙනු ලබන්නේ ලංකා ඛනිජ වැලි නීතිගත සංස්‌ථාවේ සේවක පිරිස සහ වනගත ප්‍රදේශ ආශ්‍රිතව රාජකාරියේ යෙදී සිටින ආරක්‌ෂක අංශ සාමාජිකයන් හා කොළඹ ප්‍රදේශයේ වෙසෙන පින්වතුන් කිහිපදෙනකුගේ මැදිහත් වීමෙනි.

අවශ්‍ය පහසුකම් පිළිබඳව අප විමසුවත් උපේක්‌ෂාවෙන් ඒ පිළිsබඳ අදහස්‌ පළ නොකළේ උන්වහන්සේලා ලද පමණින් සතුටු වන ධර්ම මාර්ගයේ ගමන් කරන සැබෑම යතිවරයන් පිරිසක්‌ වන බැවිනි. කෙසේ වෙතත් මෙම චාරිකාව තුළදී අප දුටු මෙම සේනාසනවල පවතින මූලික ප්‍රත්‍ය පහසුකම්වල අඩුපාඩු මෙලෙසින් සමාජ ගත කිරීමට අවසනයේ අප තීරණය කළේ මෙලෙස නිවන් මග වෙනුවෙන්ම කැප වී සිටින මෙම යතිවරුන්ගේ ගමනට උපකාරී වීම සැබෑ බෞද්ධයන්ගේ වගකීමක්‌ මෙන්ම එය අතිමහත් කුසලයක්‌ද වන බැවිනි.

ඔබටද මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා දායක වීමට හැකි අතර එහිදී මෙම කටයුතු ව්‍යාපෘති ලෙස භාර ගන්නේ නම් එය වඩාත් ඵලදායී වේ . (මන්ද මෙය සටහන් කරන අවස්‌ථාව වන විටදී ඒ සඳහා මැදිහත් විය හැකි සක්‍රීය ගිහි පිරිසක්‌ දක්‌නට නොසිටි අතර අනෙකුත් යතිවරුන්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා පනාමුරේ තිලකවංශ හිමියන් තම අධ්‍යාත්මික ගමන කැපකර මෙහි සම්පූර්ණ බර කරට ගෙන කටයුතු කරනු අප දුටුවෙමු. එහිදී භික්‌ෂුන් වහන්සේ නමකගේ සීමාවන් තුළදී එම කාර්යයන් කිරීමට ඇති අපහසුතාව අප හට ප්‍රත්‍යක්‌ෂ විණි. තවද මෙම අවශ්‍යතා උන්වහන්සේලාගේ මූලික පහසුකම් සැපිරෙන මට්‌ටමකින් තිබීම ප්‍රමාණවත් වන අතර අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන උන්වහන්සේලා සුවපහසු පරිහරණයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරනු කැමැත්තෙමු.

බුදු දහමෙහි අර්ථ විග්‍රහයන් ඉතා වේගයෙන් විකෘති වී යන, අධර්මය හා අවිනය ධර්මය/විනය ලෙසින් හිස ඔසවන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ අවසානය කාලපරිච්ඡේදයේදී, සැබෑ බුදු දහමෙහි හරය තම ජීවිත තුළින් අත්දකින මෙම සංඝ පීතෘවරුන් රැක ගැනීමට ඔබ යම් උත්සාහයක්‌ දරයි ද, එය මේ නිමවීමට ආසන්න ගෞතම බුදු සසුන නැමැති පහන් සිල උදෙසා ඔබ එක්‌කරනා වටිනා තෙල් බිඳුවක්‌ වන්නේය.