ක්‍රිස්‌තු පූර්ව තෙවැනි සියවසේ දී මෙරට සංඝ සාසනය ස්‌ථාපිත වී බෞද්ධ ආරාම ඉදිවෙන සාමාරම්භක අවස්‌ථාවේ නම් වශයෙන් වෙන් වෙන් ව නොතිබුණ ද පැහැදිලි ව ම ආරඤ්ඤික හා ග්‍රාමවාසී නමින් භික්‌ෂු කණ්‌ඩායම් දෙකක් දක්‌නට ලැබේ. නිදසුනක් වශයෙන් එකල අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවරට ඉතා සමීපව එකල තිස්‌සාරාමය නමින් හැඳින් වූ මහාවිහාරයත්, එසේම ථූපාරාමයත්, පසෙකින් සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණීන් සඳහා වූ හත්ථාල්හක මෙහෙණවරත් දක්‌නට ලැබුණ අතර මෙකී නාගරික ප්‍රදේශයෙන් බැහැරව අම්බස්‌ථලෙහි පර්වත හා ලෙන් ඇසුරු කරමින් අටසැට ලෙන් විහාරය ද වෙස්‌සගිරය හා ඉසුරුමුණිය ආදී විහාර ද ජනාවාස ප්‍රදේශයෙන් ඈත් ව ආරඤ්ඤික භික්‌ෂූන්ගේ වාසස්‌ථාන බවට පත් වීය. මහ ජනතාව අතර ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ග්‍රාමවාසී විහාර වැදගත් වූ අතර භික්‌ෂුන්ගේ බණ භාවනා සඳහා ආරඤ්ඤික භික්‌ෂු ආවාස අවශ්‍ය විය. පසු කාලය වන විට මෙම ආරණ්‍ය වාසී භික්‌ෂුන් වහන්සේලා විශුද්ධි මාර්ගයේ සඳහන් වන යම් යම් ධූතාංග රකින පිරිස් වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. මේ අතරින් පාංසුකූලික යන්න බෙහෙවින් ජනප්‍රසාදය දිනාගත් ධූතාංගයක් විය. පසු කාලය වන විට මෙකී ධූතාංග රැකීමේ යම් ලිහිල් බවක් දකින්ට ඇතත් සමාරම්භක අවස්‌ථාවේ එකී ධූතාංග රැකීමේ දැඩි පිළිවෙතක් පැවතී ඇත. ඒ බව සානාථ වන්නේ අභයගිරි වාසීන්ගේ ග්‍රන්ථයක් වන විමුත්ති මග්ගයේ පාංසඅකූලිකයන් විසින් පූජාවක් ලෙස චීවරයක් පිළිගැනීම හෝ ආරඤ්ඤිකයින් ගමකට නුදුරින් වාසය කිරීම විනය නීති කඩකිරීමක් වශයෙන් සඳහන් ව තිබීමෙනි. එහෙත් ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවස වන විට මේ තත්ත්වය වෙනස් ව ගොස් ඇති සැටි පෙන්වන අටුවාචාරී බුද්ධඝෝෂ හිමි සොහොන් බිමෙහි දමා තිබූ කඩමාලක් ඇහිඳ පාවිච්චියට ගන්නා දැඩි පිලිවෙත් රකින පිරිස, භික්‌ෂුන් විසින් ඇහිඳ ගත යුතු යෑයි සඳහන් කර තැබූ කඩමාල්ලක් ඇහිඳ පාවිච්චියට ගන්නා මධ්‍යස්‌ථ පිළිවෙත් රකින පිරිස, හා තමාගේ පා මුල තබන කඩමාල්ලක් පිළිගනනා මෘදු පිළිවෙත් රකින පිරිස යනුවෙන් පාංසුකූලිකයන් වර්ග තුනකට බෙදා දක්‌වා ඇත. මේ ආකාරයෙන් ආඤ්ඤිකයන් ද භාවනා කරන අවස්‌ථාවේ දී පමණක් ඒ සඳහා වනයට පිවිසෙන පිරිසක් ද සිටි බව සඳහන් කර තිබේ.ලංකාව පුරා විසිරී ඇති පැරැණි පයංගල් විහාර නටබුන් පිරික්‌සීමේ දි පැහැදිලි වනනේ සැම කල්හිම සැම තැන ම ඒවා එක ම සැලැස්‌මකට අනුව නිමවා තිබුන බවය. මිදුල් මට්‌ටමින් මීටරයක් පමණ උස් පීඨයක එකකට එකක් ඉදිරියෙන් සිටින සේ නිමවූ ගොඩනැගිලි දෙකකින් සමන්විතය. එක් ගොඩනැගිල්ලකින් අනික් ගොඩනැගිල්ලට යැම සඳහා ගොඩනැගිලි දෙක සම්බන්ධ කෙරෙන තනි ගල් පුවරුවකින් යුක්‌ත පාලමක් සවිකර ඇත. මෙයින් පසුපසින් ඇති ගොඩනැඟිල්ල භාවනාණුයෝගී භික්‌ෂූන් වැඩසිටි කුටිය වේ. ඒ බව තහවුරු වන්නේ එම ගොඩනැඟිලේ වහළ දරා තිබූ ගල් කණු ඉතිරිව තිබීමත් ගරාවැටුණු වහළටය අයත් උලු තැන්පත්ව තිබීමත් සමහර තැන්වල දී බිත්තිවල ගරාවැටුණු ගඩොල සොයාගෙන තිබීමත් නිසාය. එසේ ම වෙහෙරබැඳිගල ප්‍රධානඝරවල මෙම ගොඩනැඟිලි තුළ කුටි කිහිපයක් තිබූ බවට සාදක වශයෙන් එක් එක් කුටිය වෙන් කෙරුණු බිත්තිවල අත්තිවාරම් හමු වී ඇත. එක් එක් කුටියක් එක් භික්‌ෂුවකට පමණක් ජීවත්විය හැකි පරිදි කුඩා ප්‍රමාණයෙන් යුක්‌ත වී ඇත. එහෙත් එහි ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ලෙහි එකී ලක්‍ෂණ කිසිවක් දක්‌නට නොලැබෙන හෙයින් එය පොදු කටයුතු සඳහා භාවිත විවෘත මණ්‌ඩලයක් වශයෙන් පැවැති බව සැළකේ. මෙම පියංගල් විහාරවල භික්‌ෂුන්ගේ අවශ්‍යතා සපුරාලීමට පැමිණෙන කැපකරු දායකයන් හමුවන ස්‌ථානය වශයෙන්ද, විහාරයේ වැඩ වාසය කරන නවක භික්‌ෂූන් උපාධ්‍යයන් වහන්සේ හමුවීමට යොදාගන්නා ස්‌ථානය වශයෙන්ද මෙය යොදගන්නට ඇත. භාවනාවේ යෙදෙන නවක භික්‌ෂුන් වහන්සේලාට ඒ සඳහා උපාධායන් වහන්සේගෙන් කමටහන් ලබාගත යුතුය. අනතුරුව වනයේ රුක්‌මුලක් ආදි ස්‌ථානයක සිය භාවනා කරන අතර ගැටලු මතුවිය හැකිය. එකී ගැටලු විස¹ ගැනීම සඳහා නැවත උපාධ්‍යායන් වහන්සේ හමුවිය යුතුය. මෙම ගොඩනැඟිල්ල එසේ කුටිය තුළ වෙසෙන භික්‌ෂූන් හමුවීමට යොදාගත් ස්‌ථානයක් බව සනාථ කෙරෙන තවත් සාධකයක් ඇත. එනම් පාලමක් වැනි ගල්පුවරුව දෙපසින් පහත මිදුලට බැසීම සඳහා දෙපසින් පියගැට පෙළ දෙකක් ඉදිකර තිබීමය. කුටිය තුළ සිටි භික්‌ෂූන් වහන්සේ ඉන් පිටතට පැමිණ ගල් පුවරුව මත වාඩි වී සාකච්ඡා කළ පසු පැමිණි පිරිස ඉදිරි දොරින් ම පිටව යන්නේ නම් අනිවාර්යයෙන් ම භික්‌ෂූන්ට පිටුපා යා යුතුය. එය අගෞරවයක් සේ පුරාණයේ සළකා ඇති බව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ගන්ධකුටි සම්ප්‍රදායේ බුදු පිළිම ගෙවල්වල ද බුදුපිළිමයට වැඳ ප්‍රදක්‌ෂිණා කිරීමෙන් අනතුරු ව ඉදිරි දොරින් පිටවී යාමේ දි බුදුන් වහන්සේ පිටුපස හැරවීමට සිදුවන හෙයින් එකී අගෞරවයෙන් වැළකීම සඳහා අන්තරාලයේ දකුණු පැත්තේ බිත්තියේ කුඩා දොරටුවක් ඉදිකර තිබීමය. අදහස් වශයෙන් මේ දෙක ම සමානය. මෙම මණ්‌ඩපය විශුද්ධි මාර්ගයේ සඳහන් කසින වලින් එකක් පුහුණු කිරීමට යොදාගනනට ඇතැයි අචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පවසා ඇත. තේජෝ හෙවත් ගින්න අරමුණු කරගෙන කරණු ලබන එම භාවනාවේ දී ගිනි මැලයක් දල්වා ඒ ඉදිරිපිට වියතක පමණ සිදුරක් කළ හම්කඩක් හෝ ආවරණයක් එල්ලා සිදුරු තුළින් ගින් දෙස නෙත් යොමා මෙම භාවනාව සිදු කෙරේ. මෙම මණ්‌ඩපය තුළ එය සිදු කෙරුණේ දැයි දැක්‌වීමට ස්‌ථිර සාක්‌ෂි නැත. රිටිගල, මානාකන්ද, බටහිරාරාම වැනි ස්‌ථානවල පිහිටීම සළකා බැලීමේ දී භික්‌ෂූන්ට භාවනාව සඳහා සිත එකඟ කර ගැනීමට පහසු නිසංසල පරිසරයන් ඒ සඳහා තෝරාගෙන ඇති බව පෙනේ. උදාහරණයක් වශයෙන් බටහිරාරමය පිහිටා ඇත්තේ පුරාණ සොහොන් බිමට එපිටින් වීම දැක්‌විය හැකිය. මෙරට ඉතිහාසයේ රාජධානි වෙනස් වුව ද වනවාසී ආරාම භික්‌ෂු සම්ප්‍රදාය වෙනස් වී නොමැති බවට සාක්‍ෂි හමුවේ. දඹදෙණි සමයේ ධර්මකීර්ති මහ තෙරුන් වැඩ විසූ පලාබත්ගල අරණ්‍යසෙනසුනකි. මහපැරකුම්භා රජුගේ සංඝ සංශෝධනයට ප්‍රධානත්වය දුන් දිඹුලාගල කාශ්‍යප හිමි වනවාසී නිකායට අයත් ය. ශ්‍රී ජයවර්ධන කෝට්‌ටේ සමයේ වත්තල වනවාසයක් වූ බව සංදේශ සාහිත්‍යයේ දැක්‌වේ. මහනුවර අස්‌ගිරි විහාරයේ ආරම්භය ද වනවාසී පාර්ශ්වය හා සම්බන්ධය. වලස්‌ගල වනවාසී භික්‌ෂු පරපුරෙන් පැමිණි භික්‌ෂූන් විසින් එය ආරම්භ කොට ඇත. වලස්‌ගල යන්න පාලි බසට පෙරදීමේ දී අච්ජගිරි යනුවෙන් සඳහන් කිරීමත් පසුව ශබ්දාර්ථයට මුල් තැන දෙමින් හෙළ බසට පෙරළීමේ දී අස්‌ගිරි වූ බවත් පෙනේ.
අනුෂි තිසාරා කාරියවසම්
2010 නොවැම්බර් 21 ඉරිදා දිවයින
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......



