වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

මඩකඩ ආරණ්‍ය සේනාසනය - නාච්චිමලේ

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක (කොළඹ) මාර්ගයේ සැත. 1ක් පමණ ගොස් මහ ඉංගිරිය මංසන්ධියෙන් දකුණු දෙසට ඇති කීනගහවිල මාර්ගයේ සැ.1 ½ ගිය තැන මෙම ආරණ්‍ය සේනාසනය හමු වේ. මෙම ආරණ්‍යයේ ආරම්භය 1940 දශකය දක්වා දිව යන අතර එකී කාලයේ සිට මේ දක්වා එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලා ප්‍රමාණය සියගණන ඉක්මවයි. මෙම නව ආරණ්‍ය සේනාසනය වර්ෂ 1948දී පූජ්‍ය රංවල සද්ධාතිස්ස හිමියන් විසින් ආරම්භකර ඇත. ඈත අතීතයේදී වනාන්තරයෙන් වැසුණු ගල් ලෙන් පිහිටා තිබූ මෙම ප්‍රදේශය, භාවනාව සඳහා සද්ධාතිස්ස හිමියන්ගේ පැමිණීමෙන් පසු වනගත ආරණ්‍යයක් වී ඇත.
මඩකඩ ආරණ්‍ය යනු ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛතම විපස්සනා භාවනා මධ්‍යස්ථානයකි. මෙම ස්ථානයේ ශාඛා නාවින්න, සාලගල ඇතුළු තවත් ස්ථාන කිහිපයක පිහිටා ඇත. ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශිකයන්ට ආගමික දියුණුව උදෙසා මෙම මධ්‍යස්ථානයෙන් ලැබෙන රුකුල මිලකළ නොහැක. වර්තමානයේ නේවාසික භාවනායොගී භික්ෂූන් වහන්සේලා 16ක් සහ නේවාසික භාවනායෝගී ගිහියන් විසින් විපස්සනා භාවනාව ප්‍රගුණ කරනු ලබයි. බෞද්ධ දර්ශනයට අනුව යමින් භාවනායෝගීන්ගේ උපස්ථාන කටයුතු සියල්ල සැදැහැවතුන් විසින් නොපිරිහෙලා ඉටුකරනු ලැබේ.
එහි ප්‍රධාන ගල් ලෙන තුළ බුද්ධ ප්‍රතිමාවන් ඇතුළු ආකර්ෂණීය සිතුවම් හා මල් වලින් සැරසී ඇති අතර ඒ හා ආසනයට භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් පිහිටා ඇත. මෙකී ආරණ‍්‍යයේ භික්ෂූන් වහන්සේලා 15 -20ත් අතර ප්‍රමාණයක් භාවනා යෝගීව වැඩ සිටිති. රක්ෂිත වන ගත පෙදෙසක පිහිටා ඇති මෙම ස්ථානය වටා ගලා බසින නාච්චිමලේ දොළ (නම්බපාන ඇළ) ඉතාමත් සුන්දර දොළ පහරකි. මෙම දිය පහර වල දිය නෑම සදහා දිනපතා දහස් ගණන් දේශීය විදේශීය සංචාරකයින් පැමිණෙන අතර ඔවුහූ ආරණ්‍ය සේනාසනය නැරඹීමටද අමතක නොකරති. තවද මෙම ආරණ්‍ය අයත් කලාපය ඉතා සන්සුන් ප්‍රදේශයක් වන අතර ආවේණික වෘක්ෂලතා දේශීය ඖෂධ පැළ පක්ෂීන්, දුර්ලභ සමනළ වර්ග, වන සතුන් හා සත්‍ය විශේෂයන්ගෙන්ද ගහණ ඉතා සුන්දර පෙදෙසකි.







"වනාන්තරය වූ කලී අසීමිත දයාවෙන් හා ත‍්‍යාගශීලි බවෙන් යුක්ත වූ ද තමාගේ පැවැත්මට කිසිවක් නොගන්නා වූද තම ජීවිත කාලයට රැස්කර ගත් පලදාවන්ගෙන් සිය‍‍‍ළු සත්වයන් පෝ‍ෂණය කරන්නා වූද එසේම පොරෝ පහරින් තමාව විනාශ කරන්නාටද සෙව‍න ලබා දෙන අපූර්ව ජීවියෙකි." - බුදුරජාණන් වහන්සේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ මැතිවරණ ආසනයේ, ඉංගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මඩකඩ මූකලාන නොහොත් නාච්චිමලේ නමින් හැදින්වෙන වන පියසට පිවිසෙන ඔබට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඉහත ධර්ම පාඨය මොන තරම් අපූර්ව සහගත පරම වූ සත්‍යයක දැයි පසක් වෙනවාට සැකයක් නැත. මෙම වන පියස මැදින් ගලා බසින දොළ පහරේ නාද රිද්මයත්, මධ්‍යහ්නයේ වුවද හඩ තලන රැහැයියන්ගේ ගීත නාදයත්, ගුප්ත නිහඩ බව බිදලන නමුදු, එකම රිද්මයකට නොනැවතී නැගෙන එම හඩට සවන් යොමා තත්පර කිහිපයක් දැහැන් ගත වූ වි‍ට වනපෙත පුරා පවතින ගුප්ත නිහඩතාවය ඉස්මතු වී අන් සියලු හඩවල් නොඇසී යන්නේ පුදුම සහගත ලෙසය. අප්‍රමාණ වටිනාකමක් ඇති භූමිය තුල පිහිටි ආරණ්‍ය සේනාසනය සොබා දහමත් සමග ඒකාත්මික වෙමින් ජීවිතයේ අරුත දකින්නට මහත් පිටු බලයක් සපයයි. ප්‍රමාණයෙන් අක්කර 550ක් පමණ වූ මෙම වන රක්ෂිතය රත්නපුර දිස්ත්‍රික්කයේ කලුවාවල තැන්න, නුගදණ්ඩ යන ගම්මාන වලින්ද කළුතර දිස්ත්‍රික්කයේ නම්බපාන, මහ ඉංගිරිය යන ගම් වලින්ද මායිම්ව පවතී. මෙම රක්ෂිතයේ අක්කර 28 ක් පමණ ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනයට පවරා දී ඇත්තේ පරිසරය ගහ කොළ සතා සිවුපාවා සුරකින වගකීමද සමගය. මෙම රක්ෂිතය වටා ගම්මාන පිහිටා තිබීම රක්ෂිතයේ පැවැත්මට බලපෑම් ඇතිවී තිබේ. එම ගම්මාන වල ජනයා තමන්ගේ අවශ්‍යතා සදහා දැව දඩු කපා ගැනීම සහ තම ඉඩම් වල වපසරිය විශාල කර ගැනීමට උත්සහ දැරීම එවැන්නකි. මෙම රක්ෂිතයේ ඉඩම් අල්ලා ගැනීම 1960 වර්ෂ වලදී විශාල වශයෙන් සිදුවී ඇති බව වාර්තාවේ. මේ නිසා රක්ෂිතයටම ආවේණික විවිධ ශාක සහ සතුන් වර්ධනයට බාධාවක් වී ඇත. මෙම රක්ෂිතයේ බහුලව දක්නට ලැබෙන විවිධ ශාක අතර මිල්ල, කුඹුක්, හොර, නා, කොස්, ගිනිකූරු, අලු බෝ, මඩු, බෝඹු, මාදං, බෝවිටියා, ගොතිකවැල්, වැලි ආත්ත, කැකුලිය, ගොඩපර, බට, වේවැල්, වෙනිවැල්ගැට, හ‍‍ාතවාරිය, බාදුරා, පෝටාවැල්, පුස් වැල් ආදිය දැකිය හැකිය. ගම් වැසියන්ගෙන් රක්ෂිතයට වී ඇති හානිය අවම කර ගැනීම සදහා ඇකේසියා හා ෆයිනස් වැනි විදේශීය ශාක සමග මහෝගනී ශාකයද වගා කර ඇත. මෙම ශාකවලින් සත්ව ගහනයට රුකුලක් ගෙන නොදේ. විදේශීය ෆයිනස් වගාව කිසිදු පක්ෂි වර්ගයකට හිතකර නොවේ. රක්ෂිතයේ වපසරිය කු‍‍ඩා වීම එහි වෙසෙන සියලු සත්ව ගහනයට හානි කර වී ඇත. මෙම රක්ෂිතයේ වෙසෙන සතුන් අතර වල් ඌරා, මීමින්නා, හාවා, උගුඩුවා, නරියා, ඌරු මීයා, වදුරා, දඩුලේනා, රිලවා, කලවැද්දා යන සිවුපාවන්ද මයිනා, කපුටා, නීලකොබෙයියා, මහ කොකා, බකමූණා, ගිරවා කහ කුරුල්ලා, දිය කාවා, සැලළිහිණියා, අලු කොබෙයියා, සුදු රෙදි හොරා, බස්සා ආදී පක්ෂීන්ද දැකිය හැකිය. රක්ෂිතය හරහා ගලා බසින මනරම් ජල මාර්ගයේ ඉතා විචිත්‍ර වූ මතස්‍යයින් බහුලව ඇති අතර ඒ අතර තලාපියා, හඳය‍ා, ලූලා, ආදා, බුලත්හපයා, පෙතියා, මඩකනයා, වැලිගොව්වා, තෙලියා, මගුරා, ආදිය දැකිය හැකිය. රටේ විවිධ පළාත් වලින් පැමිණෙන ජනයා මෙම ඇල මාර්ගයේ ඇති ස්වාභාවික ජල තාටාක හුදු ‍විනෝදය පිණිස භාවිතා කිරීම නිසා සබන්, අහාර, කෘතීම බීම වර්ග ජලයට මුසු වීමත් රක්ෂිතයට මායිම්ව වගා කර ඇති වගා බිම් වලට යොදන පොහොර ඇල මාර්ග යට සෝදා ඒම නිසාත් මත්ස්‍ය ගහනයේ පැවැත්මට හානිකර වී තිබේ. මෙම වන රක්ෂිතය තුල මෙතෙක් ආරක්ෂා වී තිබූ ගස් කොළන්, සතා සීපාවුන් වැනි අගනා සම්පත් මිනිසුන්ගේ අනිසි ක්‍රියාකාරකම් නිසා විනාශ වන්නේ මේ අ‍යුරිනි. අතීතයේ සෙනසුනේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට දාන මානාදිය පිරිනැමීම සඳහා සීමිත පිරිසක් පමණක් මෙම වනපෙත තුලට පියනැගුවද එයින් හානියක් සිදු නොවීය. එහෙත් මේ වන විට මෙහි බොහෝ පිරිස පැමිණෙන්නේ හුදු විනෝදය තකා ජලස්නානය කිරීම සදහා පමණකි. ඔවුන්ගේ අවීනීත හැසිරීම එහි වෙසෙන යෝගාවචර භිකෂූන් වහන්සේලාටද කරදරයක් වී තිබේ. මේ නිසා හොරණ ප්‍රදේශයටම අගනා සම්පතක් වූ මෙය තවදුරටත් විනාශවී යාමට නොදී රැක ගැනීමට සියළු දෙනා අදිටන් කර ගත යුතුය. සොබාදහමට එරෙහි වන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමු වන්නේ නම් මෙම මගකු සම්පත අනාගත පරපුරටද උරුම කරලිය හැක.